අප ගැන
|
|
දෙපාර්තමේන්තුවේ ආරම්භය හා විකාශනය
- විසිවන සියවස ආරම්භ වන විට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවේ එවකට සිටි ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ණයගැතිභාවය හා ගොවිජන ගැටළු විමර්ශනය කර විසදුම් නිර්දේශ කිරීම සදහා පත් කරන ලද කෘෂිකාර්මික බැංකු කාරක සභාවේ නිර්දේශ අනුව සමූපකාර ණය දෙන සමිති ආරම්භ කර සංස්ථාපනය හා පාලනය සදහා 1911 අංක 07 දරණ සමූපකාර සමිති ආඥා පනත පනවන ලදී.
- වර්ෂ 1911 දී ක්‍රියාත්මක කරන ලද පළමුවැනි සමූපකාර සමිති ආඥාපනතට අනුව සමූපකාර සමිති ලියාපදිංචි කිරීමට හා ඒවායේ විගණනය වැනි කටයුතු කිරීමට රෙජිස්ට්‍රාර්වරයාට බලය ලැබුණි. කෙසේ වුවත් පුර්ණ කාලීන රෙජිස්ට්‍රාර්වරයෙකු අනවශ්‍ය බව රජයට හැගී ගියෙන්, මෙම ආඥාපනත යටතේ ඔහුට පැවරුණු රාජකාරි හා වෙනත් කටයුතු රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත පැවරීමට තීරණය කරන ලදී. 1911 ආඥා පනත යටතේ සමූපකාර සමිති ලියාපදිංචි කිරීම කරනු සදහා ඉදිරිපත් කරන අයදුම්පත් පරීක්ෂා කිරීම සදහා දිසාපතිවරුන්ට වගකීම් කොටසක් පවරන ලදී. 1904 දී ලංකාණ්ඩුකාරතුමාගේ මූලිකත්වයෙන් ගැමියන්ගේ වගා ව්‍යාපාරය දියුණු කරනු සදහා ලංකා කෘෂිකාර්මික සමිතිය නම් ආයතනයක් පිහිටුවීය. මේ ආයතනය මගින් සමූපකාර සමිති දියුණු කිරීමේ ප්‍රචාරක කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය.
- 1911 වර්ෂයේදී ලංකා කෘෂිකාර්මික සමිතිය වෙනුවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී. 1911 දී ක්‍රියාත්මක කරන ලද වැඩපිලිවෙල කෙටිකාලීන එකක් විය. ලියාපදිංචි කිරීමේ සාමාන්‍ය ක්‍රියාවට අමතරව තවත් විශාල වැඩ කොටසක් කිරීමට තිබූ හෙයින් 1913 වර්ෂයේදී දී කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ඔහුට නියමිත සාමාන්‍ය රාජකාරිවලට අමතරව සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්වරයා වශයෙන්ද රජය විසින් නම් කරන ලදී. මේ වර්ෂයේදීම සමූපකාර සමිතිවලින් ණය මුදල් ඉල්ලා එවනු ලබන ඉල්ලුම්පත් සලකා බැලීම සදහා රජය විසින් පාලක මණ්ඩලයක් පත් කරන ලදී. මෙම මණ්ඩලය කෘෂිකාර්මික අධ්‍යක්ෂ සහ සමූපකාර සමිති පිලිබද රෙජිස්ට්‍රාර්තුමා යටත්විජිත බාණ්ඩාගාරික, බස්නාහිර පළාතේ දිසාපති හා මධ්‍යම පළාත භාර දිසාපති යන අයගෙන් සමන්විත විය.
- කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා, සමූපකාර සමිති පිලිබද රෙජිස්ට්‍රාර්වරයා වශයෙන් 1913 දී පත්කළ පසු ඒ තත්වය වර්ෂ දහයකට අධික කාලයක් පැවතියේය. එම කාලසීමාව තුලදී දෙපාර්තමේන්තු නිලධාරීන් සංඛ්‍යාව වැඩිවූයේ සෙමින්ය. 1921 දී පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළත් කළ අතර ප්‍රාදේශීය කෘෂිකාර්මික නිලධාරීන් ඔවුන්ගේ භාරයේ පැවති කොට්ඨාශවල උප රෙජිස්ට්‍රාර්වරුන් වශයෙන්ද පත්කරන ලදී. 1926 මැයි මාසයේදී ඩබ්.කේ.එච්. කැම්බල් මහතා සමූපකාර සමිති සම රෙජිස්ට්‍රාර් වශයෙන් පත් කිරීම මේ වකවානුවේ සිදුවූ වැදගත් සිද්ධියකි. අලුතින් ඇති කරන්නට යෙදුනු මේ තනතුර පූර්ණ කාලීන එකක් විය. ඔහුගේ මාර්ගෝපදේශකත්වය යටතේ දිවයිනේ සමූපකාර ව්‍යාපාරයට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ පූර්ණ අවධානය ලැබීමට පටන් ගැනුණි. 1926 දී කොළඹ දිස්ත්‍රික්කයේ සමූපකාර සමිති සංගමය මගින් ගරු පරීක්ෂකවරුන් 06 දෙනෙකු පත්කිරීමද සිදුවිය. මෙම ක්‍රියාමාර්ගය නිලධාරීන්ගේ පාලනය අඩුකිරීමට ගත් පියවරක් බව කැම්බල් මහතාගේ අදහස විය.
- 1929 දී ප්‍රචාරක කටයුතු සංවිධානය හා සාමාන්‍ය පරීක්ෂණය, විගණන අංශයෙන් වෙන් කරනු ලැබූ අතර ඒ සදහා පරීක්ෂක කණ්ඩායමද කොටස් දෙකකට බෙදන ලදී. සමූපකාර සමිතිවල විගණන කටයුතු අනිකුත් කටයුතු හා මිශ්‍රව පවතින තෙක් එම විගණන නොගැඹුරු හා හදිසි විගණන ලෙස පිරිහීම නොවැළැක්විය හැකි හෙයින් එසේ කොටස් දෙකකට බෙදීමට තීරණය විය.
- 1930 සැප්තැම්බර් 30 වෙනිදා තෙක් සමූපකාර දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනු දෙපාර්තමේන්තුවක් විය. 1930 ඔක්තෝබර් පළමුවැනි දින එයින් වෙන් කරනු ලැබූ සමූපකාර දෙපාර්තමේන්තුව පූර්ණ කාලීන සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පාලනය වන ස්වාධීන ආයතනයක් බවට පත්විය. අනතුරුව දිවයින සහකාර රෙජිස්ට්‍රාර්වරුන් තිදෙනෙකු යටතේ කොටස් 3 කට බෙදන ලදී. එසේම මේ වර්ෂයේ සිට මූලස්ථානයට නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයෙකු පත් කරන ලදී.
- මීලගට සැලකිය යුතු සංවර්ධනයක් සිදුවූයේ 1937 දීය. උතුරු දිසා සමූපකාර මසහා සංගමය පිහිටුවීමත් දිවයිනේ ඉතිරි කොටස් සදහා සංවර්ධන හා විගණන අරමුදලක් පිහිටුවීමත් මේ වර්ෂයේ වූ විශේෂ සිදුවීම් දෙකකි. උතුරු දිසා සමූපකාර මහා සංගමය පිහිටුවීමෙන් පසු උතුරු පළාතේ සමූපකාර සමිතිවල පරීක්ෂණ ගාස්තු අයකිරීම එයට පැවරුණි. සෙසු කොටස්වල පරීක්සන ගාස්තු අයකරන ලද්දේ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. මින් පසු 1937 දී උප පරීක්ෂක තනතුරු ක්‍රමය ආරම්භ කරන ලදී. තවද උතුරු දිසා සමූපකාර සංගමය මගින් මෙම අළුත් ශ්‍රේණියේ සේවකයන් උතුරු පලාතේ පත්කර ඔවුන්ගේ වැටුප් එම සංගමය මගින් අයකරන පරීක්ෂණ ගාස්තුවලින් ගෙවන ලදී. සෙසු පළාත්වල උප පරීක්ෂකවරු රෙජිස්ට්‍රාර් තැන විසින් පත් කළ අතර ඔවුන්ගේ වැටුප් ගෙවීම සංවර්ධන සහ විගණන අරමුදලින් සිදුවිය. රජයේ වැටුප් නොගෙවන උප පරීක්ෂකවරුන් මෙසේ පත් කිරීම මෙම ව්‍යාපාරයේ නිලධාරීන් සංඛ්‍යාව විසිරී යැවීමේ මූලික පියවරක් වශයෙන් මේ වකවානුවේ සලකන ලදී. මේ අළුත් ශ්‍රේණියේ ආරම්භයත් සමගම දෙපාර්තමේන්තු පරීක්ෂකවරුන් විගණන හා පරිපාලන පරීක්ෂකවරුන් වශයෙන් කොටස් දෙකකට බෙදීම නතර විය. එම කොටස් දෙකට අයත් නිලධාරීන්ගේ කටයුතු එකිනෙකින් වෙන් කොට තැබීමට මුලදී අදහස් කර තිබුනි. එහෙත් සංශෝධිත වැඩපිළිවෙල අනුව විගණන හා පරිපාලන කටයුතු වෙන්කර තැබීමට අදහස් වූ අතර ප්‍රදේශ දෙකක විගණන කටයුතු ක්‍රියාත්මක කිරීම එක් පරීක්ෂකවරයෙකුට පැවරුණි. සෑම පරීක්ෂකවරයෙකුටම ප්‍රදේශයක් වෙන් කරන ලදී. එහි පරිපාලනයට ඔහු වගකිව යුතුවේ. එහෙත් යාබද පරීක්ෂකවරයෙකුගේ සමිතිවල විගණනය පැවැත්වීමට සෑම අවුරුද්දකම ඔහුට සිදුවිය. මේ නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වූයේ පිළිවෙලින් දෙවසරක් එකම අයෙකු මගින් සමිතිවල විගණන කටයුතු සිදුකිරීම වැලැක්වීමය.
- දෙවැනි ලෝක සංග්‍රාම අවධිය සමුපකාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ඊලග විශේෂ වකවානුව විය. මේ කාලය තුලදී සමූපකාර කඩ සමිති සංවිධානයේ පෙර නොවූ විරූ පිබිදීමක් සිදුවූ අතර දෙපාර්තමේන්තුවේද එවැනිම ව්‍යාප්තියක් සිදුවිය. 1942 – 1945 දක්වා වූ කාලය තුලදී උප පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාව 55 සිට 709 දක්වා වැඩිවූ අතර පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාව 33 සිට 93 දක්වා වැඩිවුණි. 1945 තවත් සංවර්ධන යුගයක ආරම්භය විය. මේ වර්ෂයේදී වෙනමම සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවක් පිහිටුවා කොමසාරිස්වරයෙකු යටතේ තබන ලදී. එහි සැලසුම් කටයුතු සංවර්ධන කටයුතු හා අනෙකුත් විශේෂ අන්දමේ කටයුතුද ඔහුගේ භාරයට පත්විය. 1943 ජනවාරි මාසයේ දී මෙම දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරන්නට යෙදුනු සමූපකාර තොග වෙලද ආයතනයද කොමසාරිස්වරයාගේ යටතට පත්විය. 1945 වන විට සමූපකාර තොග වෙලද ආයතනයේ විශාල නිලධාරී මණ්ඩලයක් වූ අතර ඔවුන්ට වැටුප් ගෙවීම සාමාන්‍ය ස්වදේශ ආරක්ෂක අයවැයෙන් සිදුවිය. එබැවින් එය නීත්‍යානුකූලව සමුපකාර දෙපාර්තමේන්තුවේ මණ්ඩලයේ කොටසක් නොවීය. සිවු වසරකට පසුව එනම් 1949 දී සතොස මහජන සංස්ථාවක් බවට පත්විය. මේ අවස්ථාවේදී සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමුපකාර රෙජිස්ට්‍රාර්ගේ දෙපාර්තමේන්තුව එක්කර එහි ප්‍රධානියා සමූපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් යන නම්වලින් හැදින්විය. 1943 වර්ෂයේදී දෙපාර්තමේන්තු නිලධාරීන් සහ සමූපකාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් රජයේ නිලධාරීන් පුහුණු කිරීම සදහා දෙපාර්තමේන්තුවේ අංශයක් ලෙස සමූපකාර අභ්‍යාස විද්‍යාලය ආරම්භ කරන ලදී. මහනුවර ආරම්භ කරන ලද එම විද්‍යාලය 1945 වර්ෂයේදී පොල්ගොල්ලට ගෙනයන ලදී.
- එක් දහස් නවසිය පනස් ගනන්වලදී සිදුවූ පුධාන සිදුවීම් මෙසේය.
- 1950 දී කාර්මික හා ධීවර සමිති සංවර්ධනය සදහා “සමූපකාර සංවර්ධන (කාර්මික හා ධීවර) සහකාර කොමසාරිස්” නමින් වෙනමම තනතුරක් ප්‍රධාන කාර්යාලයේ ආරම්භ කරන ලදී.
- 1956 දී උප පරීක්ෂකවරුන් තුන්වන ශ්‍රේණියේ පරීක්ෂකවරුන් ලෙස රජයේ සේවයට ඇතුළු කරන ලදී.
- 1956 වන තුරු දිස්ත්‍රික්කය භාර සහකාර කොමසාරිස්වරයා යටතේ වූ “මණ්ඩලීය පරීක්ෂක” පිරිසක් ඒ ඒ මණ්ඩල වල අනෙක් අයගේ වැඩ පරීක්ෂා කළහ. එහෙත් පරීක්ෂකවරුන්ගේ වෘත්තිය සංගමය කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රමය අවලංගු කරනු ලැබීය.
- 1956 දී සමූපකාර විද්‍යාලයේ ව්‍යාප්ති අංශයක් පිහිටුවන ලදී. දෙපාර්තමේන්තු නිලධාරීන් පුහුණු කිරීම මෙම විදුහලේ වගකීම වශයෙන් තවදුරටත් පැවතිණි. ඊට අමතරව අධ්‍යාපනය සැලසීමද ඊට භාර විය.
- එක් දහස් නවසිය හැට දශකය තුළදී නිලධාරී මණ්ඩලයේ ශීඝ්‍ර පුළුල් වීමක් සිදුවූ අතර දෙපාර්තමේන්තුවේ පහත සඳහන් පරිපාලන වෙනස්වීම්ද ඇතිවිය.
- 1962 දී, 1956 ආරම්භ කරන ලද ව්‍යාප්ති අංශය අවලංගු කොට සමූපකාර ව්‍යාප්තියේ වගකිම දිස්ත්‍රික් භාර සහකාර කොමසාරිස්වරයාට පවරන ලදී.
- ආදායම් පාලක කොට්ඨාශයනට සමාන අයුරින් ක්ෂේත්‍රයේ කලාපීය පරීක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන ලදී.
- විමර්ශන කටයුතු භාර සහකාර කොමසාරිස්වරයෙකුගේ වෙනමම තනතුරක් මූලස්ථානයේ පිහිටුවන ලැබීය.
- උතුරු මැද පළාතේ සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (විගණන) වරයෙකු පත් කිරීම නිසා සෙසු කාර්යයන් අතුරින් සාමාන්‍ය පරීක්ෂණ කටයුතු වෙන් කිරීම ආරම්භ විය.
- දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුවක් මගින් නිලධාරීන් සංඛ්‍යාව සමාලෝචනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පලමුවන ශ්‍රේණියේ පරීක්ෂකවරුන්ගේ හා විශේෂ ශ්‍රේණියේ පරීක්ෂකවරුන්ගේ තනතුරුවල වැඩිවීමක් සිදුවිය.
- 1960 දශකය අවසානය වන විට දෙපාර්තමේන්තුව සඳහා අනුමතව සිටි නිලධාරීන් සංඛ්‍යාව මෙසේ දැක්වේ.
| තනතුර |
සංඛ්‍යාව |
| සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් |
01 |
| නියෝජ්‍ය කොමසාරිස් |
03 |
| ජ්‍යෙෂ්ඨ උප කොමසාරිස් |
03 |
| විදුහල්පති, සමූපකාර විද්‍යාලය |
01 |
| උප කොමසාරිස් |
41 |
| ගණකාධිකාරි |
02 |
| කථිකාචාර්යවරු (සමූපකාර විද්‍යාලය) |
05 |
| පුස්තකාලයාධිපති (සමූපකාර විද්‍යාලය) |
01 |
| සමූපකාර සමිති පරීක්ෂක ( 1 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 111 ශ්‍රේණිය ) |
1,681 |
| ලිපිකරුවන් ( 1 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, සාමාන්‍ය ශ්‍රේණිය ) |
217 |
| වෙනත් නිලධාරීහු |
234 |
|
එකතුව |
2,189 |
- 1970 දශකය ආරම්භයේදී ඒ වන විට දිවයින පුරා පිහිටුවා තිබූ 5100 කට අධික විවිධ සේවා සමූපකාර සමිති ඒකාබද්ධ කර විශාල ප්‍රාථමික සමිති බවට පත් කිරීම රජයේ මැදිහත්වීම යටතේ සිදුවිය.
- මෙම අවධිය තුළ රජය විසින් අනුගමනය කළ ආනයන සීමා කිරීම් සහ ආනයන ආදේශන ප්‍රතිපත්ති යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ භාණ්ඩ වර්ග සලාක ක්‍රමය යටතේ බෙදාහැරීම, ග්‍රාමීය අංශය තුල නිෂ්පාදන වැඩිදියුණු කිරීම සදහා අවශය මූල්‍ය පහසුකම්, ගබඩා පහසුකම් සහ අලෙවි පහසුකම් සැපයීම තවදුරටත් පුළුල් ලෙස සමූපකාර සමිති මගින් ක්‍රියාවට නැගීම සිදුවිය. මෙම කටයුතු ඉතා පුළුල්, සංකීර්ණ ස්වභාවයක පැවතීම නිසා එම අවධිය සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට වඩාත් කාර්යබහුල අවධියක් විය. ඊට අනුරූපව දෙපාර්තමේන්තුවේ කටයුතු හා කාර්ය මණ්ඩල තවදුරටත් පුළුල් වීම සිදුවිය.
- 1980 දශකය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ 1989 න් පසු සමූපකාර විෂයයට අදාල කටයුතුවලින් වැඩි කොටසක් පළාත් සභා වෙත පැවරුනු අතර ඊට අනුරූපව පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තු පිහිටුවීම සිදුවිය. ඒ අනුව අන්තර් පළාත් සමූපකාර සමිති/සංගම් හා ජාතික මට්ටමේ අග්‍රස්ථ සමූපකාර සංගම්වල සංස්ථාපනය හා පරිපාලනය පිලිබද වගකීම ජාතික මට්ටමේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. ඊට අමතරව සමූපකාර කටයුතුවලට අදාල ජාතික ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාමය රාමුව සැලසුම් කිරීම සදහා අවශ්‍ය කටයුතු කිරීමද ජාතික මට්ටමින් සමූපකාර සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කාර්යයද, ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාවන් හමුවේ සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රජය නියෝජනය කිරීමේ භූමිකාවද පැවරී ඇත.
- 2001 වර්ෂයේදී එතෙක් දෙපාර්තමේන්තුවේ අංශයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකා සමූපකාර විද්‍යාලය දෙපාර්තමේන්තු පාලනයෙන් ඉවත් කර 2001 අංක 1 දරණ පාර්ලිමේන්තු පනත මගින් වෙනම ආයතනයක් ලෙස, ජාතික සමූපකාර සංවර්ධන ආයතනය නමින් සංස්ථාපනය කරන ලදී.
- වර්තමානයේදී මෙම කටයුතු ඉටු කිරීම සදහා දෙපාර්තමේන්තුව පරිපාලන, මුදල්, සැලසුම් හා සංවර්ධන, විගණන, විමර්ශන හා බැංකු ලෙස ප්‍රධාන අංශ 04 ක් යටතේ කටයුතු කරන අතර නැවත එම අංශවල කටයුතු සමූපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරීන් යටතේ ඒකක වශයෙන් සංවිධානය කර ක්‍රියාවට නගනු ලැබේ. මෙයට අදාලව දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පහත සදහන් පරිදි වේ.
| තනතුර |
සංඛ්‍යාව |
| සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් (ශ්‍රී. ලං. ප. සේ 1 ) |
01 |
| නියෝජ්‍ය කොමසාරිස්වරු (ශ්‍රී. ලං. ප. සේ 11/1 හා ශ්‍රී. ලං. ග. සේ 11/1 |
03 |
| සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (ශ්‍රී.ලං. ප.සේ 11/11 ) |
03 |
| සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) |
02 |
| පරිපාලන නිලධාරී (රා.කල.සේ. අධි) |
01 |
| සමූපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරී |
05 |
| සමූපකාර සංවර්ධන නිලධාරී ( 1 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය) |
25 |
| සමූපකාර ප්‍රවර්ධන හා විමර්ෂන සහකාර |
51 |
| රා.ක.ස සේවය ( 1 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 111 ශ්‍රේණිය ) |
34 |
| භාෂා පරිවර්තක |
01 |
| කාර්යාල සේවක සේවය ( 1 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 111 ශ්‍රේණිය ) |
15 |
| රියදුරු ( 1 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය) |
03 |
|
එකතුව |
144 |
- 1959 වර්ෂය දක්වා කෘෂිකර්ම විෂයට සම්බන්ධ අමාත්‍යාංශය යටතේ මෙම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුවද එම වර්ෂයේ සිට මේ දක්වා වරින් වර විවිධ විෂසයන්ට අදාල අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වී ඇත. වර්ථමානයේදී වෙලද, අලෙවි සංවර්ධන, සමූපකාර සහ පාරිභෝගික සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
|
|
|